Eka Dawasin Sarthaka Keti Kathawak Liyanne Kohomada

මම විශ්වාස කරනවා ඔයාලා හැමෝම ගොඩාක් ගොඩාක් කෙටිකතා නවකතා කියවලා ඇති. රසවිඳලා ඇති. ඒ විතරක් නෙමේ මේ ලේඛකයෝ කොහොමද මේවා ලියන්නේ කියලා හිතලත් ඇති. වර්ණනා කරලත් ඇති. ඒත් ඔයාලා කවදාවත් කතාවක් ලියන්න උත්සහ කරලා තියෙනවද? සමහර විට ඉස්කෝලෙදි නම් උත්සහ කරලත් ඇති වාර විභාග වලට සිංහල සාහිත්‍ය පන්තියේදී. නේද? මොකද කියන්නේ? ඔයාලා කැමතිද කෙටි කතාවක් ලියන්න?. මාව විශ්වාස කරන්න ඒක කොහෙත්ම අමාරු වැඩක් නෙමේ හරි ක්‍රමේ දන්නවනම්. ඔයාට කෙටි කතාවක් ලියන්න හිතනවා නම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට. මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද දවසින් සාර්ථක කෙටි කතාවක් ලියන්නේ කියලා. 

හැඳින්වීම

කෙටිකතාව ලියන්න කළින් අපි බලමු ඔයා කෙටිකතා ගැන දන්නේ මොනාද කියලා. දන්නවනේ දැනන් ගියොත් කතරගම. නොදැන ගියොත් අතර මග. ඔයා මොකුත්ම දන්නේ නැති උනත් කමක් නෑ. අපි මුළ ඉඳලම ඉගෙන ගමු.

මුළින්ම කියන්නකෝ ඔයා දන්නවද ඇත්තටම කෙටිකතාවක් කියන්නේ මොකද්ද කියලා. සරලවම කෙටි කතාවක් කියලා කියන්නේ මොකක් හරි ප්‍රධාන අදහසකට අවධානය යොමු කරලා නිර්මාණය කරන කෙටි ප්‍රබන්ධයකට. සාමාන්‍යයෙන් කෙටි කතාවක මුළු කතාවම ගොඩ නැගෙන්නේ එක කේන්ද්‍රීය අදහසක් වටේ. ඒත් කෙටිකතාවක් කියන්නේ නවකතාවක කෙටි අනුවාදයක් විතරක්ම නම් නෙමේ. එක සංකේන්ද්‍රිත පරිකල්පන ගොනුවක්. සාමාන්‍යයෙන් කෙටිකතාවක් මොකක් හරි තනි වැදගත් සිදුවීමක්, තීරණයක් එහෙමත් නැත්නම් එක ප්‍රබල හැඟීමක් වටේ තමා කැරකෙන්නේ. කොහොම නමුත් කෙටිකතාවක් නිර්මාණය කරන්නේ එක දිගට එක හුස්මට කියවන්ගෙන යන්න පුළුවන් විදිහට. සාමාන්‍යයෙන් කෙටිකතාවල පැහැදිලි වගේම තරමක් වේගයෙන් ගලාගෙන යන සීමිත චරිත ප්‍රමාණයක් ඇති ව්‍යුහයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ මඟින් කෙටි කතාවක හදවතට කෙලින්ම කතා කරන්න පුළුවන්.

ඊලඟට ඔයාලා දන්නවද කෙටි කතාවක සාමාන්‍යයෙන් අඩංගු වන්නේ මොනවගේ දේවල්ද කියලා. පහත සඳහන් වෙන්නේ කෙටි කතාවක අඩංගු වෙන්න ඕන දේවල්.

  1. එක ප්‍රධාන චරිතයක් සහ සීමිත චරිත කීපයක්
  2. එක ප්‍රධාන ප්‍රශ්ණයක්
  3. සංකීර්ණ, පූර්ණව දිග හැරෙන දිග කතාවකට වඩා නිශ්චිත එක තීව්‍ර මොහොතක් හෝ තේමාවක්.
  4. පැහැදිළි අවසානයක්

කෙටිකතාවකට කොච්චර වචන තියෙන්නෙ ඕන කියලද ඔයා හිතන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් කෙටි කතා වල වචන 1000ත් 5000 ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. ඒත් සමහර කෙටි කතාවල වචන ප්‍රමාණය වචන 7500 කටත් ලං උන අවස්ථා තියෙනවා. කෙටි කතාවක වචන ප්‍රමාණය 1000 ට වඩා අඩු වෙන එකවත් 5000 පසු කරගෙන යන එකටවත් ගැටළුවක් නෑ. ඒත් ඔයා මතක තියා ගන්නම ඕන දෙයක් තමා කෙටි කතා කියන්නේ කෙටිකතා මිස නවකතා නොවන වග. වචන 7500ට වැඩි කතා අපි කෙටිකතා විදිහට හඳුන්වන්නේ නෑ. ඒක අපි අඳුන්වන්නේ Novella කියලා. ඒ වගේම වචන 1000 අඩු කතා වලට අපි කියනවා flash Fiction කියලා. කොහොම උනත් කෙටිකතාවක ඔයාලා ලියන වචන අස්සේ මෙන්න මේ පහළින් තියෙන දේවල් ඇතුළත් වෙන්න ඕන.       

  1. චරිත
  2. කුමන්ත්‍රණ
  3. සැකසුම්
  4. ගැටුම්
  5. විසඳුම්

මම හිතනවා දැන් ඔයාලට කෙටිකතාවක් කියන්නේ මොකද්ද කියලා දළ අදහසක් තියෙනවා කියලා. ඒ වගේම ඔයාලා හොඳින් අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි හොඳට ලියපු කෙටි කතාවක් එක හුස්මට කියවගෙන යන්න පුළුවන් වගේම ඒක පාඨකයන්ගේ මනසේ බොහෝ කාළයක් රඳවා ගන්න පුළුවන් කියන එක.

මෙච්චර වෙලා අපි කෙටි කතාව ගැන ඉගෙන ගත්තා. දැන් අපිට පුලුවන් කෙටි කතාව ලියන්න පටන් ගන්න. මම ඔයාලට කියා දෙන්නම් කොහොමද පියවරෙන් පියවර අපි කෙටි කතාව ගොඩ නගන්නේ කියලා. ඒක පහසු වෙන්න මම ඔයාලට පෙළ ගැස්මක් හදලයි තියෙන්නේ. මුළින්ම අපි පෙළ ගැස්ම බලලා ඉමු.

>> READ THIS ARTICLE ENGLISH

1. ලිවීමට ඔබව සූදානම් කර ගැනීම

ඔන්න දැන් ඔයා ලියන්න තමා යන්නේ. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න. ඔයා කෙටිකතාවක් ලියන්න තීරණය කරා කියලා එක පාරටම ලියන්න යන්න එපා. ඔයා ලියන්න පටන් ගන්න කළින් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරේ නැති උනොත් ඔයාට සිද්ධ වෙන්නේ බාධක ගොඩක් මැද්දේ ලියන්න පටන් ගන්න.

ඔයා ලියන්න පටන් ගන්න කළින් මොනාද මුළින්ම කරන්න ඕන කියලා දන්නවද? මුළින්ම ඔයා කරන්න ඕන දේ තමා ලියන්න සුදුසු විදිහට ඔයාට ඔයාගේ මුළු අවධානයම ලියන්න දෙන්න පුළුවන් විදිහට ඔයාගේ වටපිටාව හදා ගන්න එක. එහෙම නොවුනොත් කරදරකාරී ශබ්ධ නිසාත්, ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය නැති නිසාත්, ලියාගෙන යද්දි මැදින් මැදින් බාධා වෙන්න ගත්තොත් ඒ නිසාත්, ඔයාගේ අවධානය හරියට යොමුකරගන්න බැරුව ඔයා වික්ෂිප්ත වෙන්න පුළුවන්. මේකෙන් ඔයාගේ ක්‍රමවේදයම සම්පූර්ණයෙන් බිඳ වැටිලා ඒ තරම් වෙලා ඔයා ගොඩනගපු පිළිවෙත කඩාගෙන වැටිලා ඔයාගේ කාලය නාස්ති වෙන එක තමා සිද්ධ වෙන්නේ.

මේ තත්වය මග ඇර ගන්න නම් අපි හරියට සූදානම් වෙලා කතාව බාධාවකින් තොරව ගොඩනගාගෙන ලියාගෙන යන්න පුළුවන් ආකාරයේ වටපිටාවක් අපි හදා ගෙන ඉමු. ඒ කොහොමද? මෙන්න මේ පහළ කියලා තියෙන විදිහට කරන්නකෝ.

i. සුදුසු ස්ථානයක් තෝරගන්න

ඔයා තෝරගන්න ස්ථානය ඔයාට බාධාවකින් තොරව අවධානය යොමු කරන්න පුළුවන් නිශ්කලංක ස්ථානයක් වෙන්න ඕන. මතක තියා ගන්න අධික ඝෝෂාකාරී ස්ථානයක ට ඔයාගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඔයා හරියට හිතන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන එක. ඒ නිසා ඔයාට මම කරන පළවෙනි යෝජනාව වෙන්නේ ඔයාට ලිවීමට වැඩි අවධානයක් යොමු කළ හැකි ස්ථානයක් තෝරා ගන්න කියන එක.

ii. ඔබේ ජංගම දුරකතන ක්‍රියා විරහිත කරන්න.

ඔයාගේ අවධානය වෙනතකට හරවන්න පුලුවන් ප්‍රධානම දෙයක් තමා ඔයාගේ ජංගම දුරකතනය. ඔයාගේ ස්මාර්ට් දුරකතනයේ එන Social Media Notification කියන්නේ ඔයාගේ අතේ දුරින් තියන හීන පාරෙනුත් එහාට ගෙනියන්න පුලුවන් හොඳම වර්ගයේ බාධාවක්. හිතන්නකෝ එක දවසෙන් ලියන්න පුලුවන් කෙටි කතාව දවස් ගානක් ලියන්න උනොත් ඔයාටත් කම්මැලියි නේද? ආපහු ලියන්න හිතෙන එකකුත් නෑ. ඒ නිසා ලියන්න පටන් ගන්න කළින්ම ඔයා විශේෂයෙන්ම මතක තියාගෙන අයින් කරන්න ඕන එකක් තමයි ඔයාගේ ජංගම දුරකතනය කියන්නේ.

iii. ලියන්න කාල වේලාවක් වෙන් කර ගන්න

ලියන්න වෙලාවක් වෙන් කර ගන්න කිව්වම ඒක උදේම හරි හවසම හරි වෙන්න ඕන නෑ. දවසේ ඕනම වෙලාවක් ඔයාගේ අභිමතය පරිදි තෝර ගන්න පුලුවන්. හැබැයි ඒක ඔයාට පහසු, වැඩි කළබලයක් නැති වෙලාවක් වෙන එක නම් අත්‍යවශ්‍යයි. කොහෙත්ම කලබලයක් නැති වෙලාවක් නම් අපිට නෑනේ නේද? ඒත් ඔයාලට මතකයිනේ අපේ කතාවක් තියෙනවා “කළබලේට කොරොස් කටේවත් අත දා ගන්න බෑ” කියලා. අපේ පැරැන්නෝ එහෙම කිව්වේ කට කහනවට නෙවේ කියලා කලබල වෙලාවක ලියන්න පටන් ගත්තොත් ඔයාට තේරෙයි. ලියන්න අදහස් ගලාගෙන එන්නේ නෑ. වෙන දේවල් වලට හිත යනවා. ඒ ඔක්කොටමත් වඩා ‘අනේ මට ලියන්න බැරි වෙයිද’ කියලා එන බයට ලියන්නම බැරි වෙනවා. ඒ නිසා මතකනේ වෙන් කරගන්න වැඩි කළබල නැති හිතන්න පුලුවන් නිදහස් වෙලාවක්.

iv. ලියන්න ගන්න ද්‍රව්‍ය ලෑස්ති කරලා තියාගන්න

ඔයා සමහරවිට පෑන් පැන්සල් කොළ භාවිතා කරලා අතින් ලියනවා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔයා ලැප්ටොප් එකක් ඩෙස්ටොප් එකක් ටැබ් එකක් නැත්තන් ස්මාර්ට් ෆෝන් එකෙන් උනත් ටයිප් කරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම උනත් ඔයා ලියන්න කලින් ඒකට පාවිච්චි කරන උපකරණ හරියට ලෑස්ති කරගන්න ඕන. නැත්තන් ඔයාට සිද්ධ වෙයි අතර මැද ලියාගෙන යද්දි ආපහු කොළ හොයන්න යන්න. පෑන ලිය උනේ නැත්නම් කඩේ දුවන්න. ලැප්ටොප් එක ස්මාර්ට් ෆෝන් එක චාර්ජ් වෙලා නැත්නම් චාජර් හොයන්න. Writing Tool එකක් නැත්නම් එකක් Download කරගන්න හරි කමියුනිකේෂන් එක්කට ගිහින් Install කර ගන්න හරි කාළේ වෙන් කරන්න. ඒත් ඔයා මේ ඔක්කොම හරියට ලෑස්ති කරගෙන වැඩේට බැස්සම ආපහු හොය හොයා වටේ දුවන්න ඕන නෑ.

අන්තිමටම කියන්න තියෙන්නේ කලබල නැති නිස්කලංක පරිසරයක ලියන්න ඕන ද්‍රව්‍ය සූදානම් කරගෙන ස්මාර්ට් ෆෝන් එකත් ඕෆ් කරගත්තම ඔයාට හරිම ලේසියි කෙටිකතාව ලියන්න අවධානය දෙන්න. මොකද ඔයාට හිතන්න නිදහස හොඳටම ලැබෙන නිසා. ඒත් ඔයා ලියන්න භාවිතා කරන්නේ ස්මාර්ට් ෆෝන් එක නම් මතකයිනේ Social Media Notification ඕෆ් කරලම වැඩේ පටන් ගන්න.

2.කතාවට හොඳ අදහසක් හොයා ගැනීම

ඔයා පළවෙනිම කෙටි කතාවේ අදහස විදිහට සරල අදහසක් යොදා ගන්න එක තමයි හොඳම. මොකද ආධුනිකයෙක් විදිහට ගැඹුරු අදහසක් හොයාගෙන ඒකෙන් කතාවක් ලියන්න ඔයා ගියොත් ඔයාටම ඒක පටලැවිලා එක ජංජාලයක් වෙන්න පුලුවන්. ඊට පස්සේ වෙන්නේ ඔයාට ලියන්න එපා වෙන එක.

අනිත් එක තමයි ගොඩක් හොඳයි කියලා කියන කෙටිකතා ලියවිලා තියෙන්නේ සරල අදහසක් මුල් කරගෙන. මේ සරල අදහස ඔයා චරිත දාලා හැඟීම් ඔබලා ගැටුම් පුරවලා නිර්මාණය කරද්දි ඔයාගේ කතාව වෙනමම ලෙවල් එකකට එනවා. ඒ නිසා හා හා පුරා කියලා ලියන්න ගන්න කෙටි කතාවට බර අදහස් දාගෙන ලත වෙන්න එපා.

හරි දැන් අපි බලමු ඔයාගේ කතාවට සරල අදහසක් ඔයාට හොයා ගන්න පුළුවන් කොහෙන්ද කියලා. පහල බලන්නකෝ. ඔයාට ඒවයින් එකක් උත්සහ කරලා බලන්න පුළුවන්.

  1. ඔයාගේ අත්දැකීම් වලින්
  2. ඔයා එදිනෙදා කරන දේවල් වලින්
  3. ඔයා වටේ තියෙන දේවල් වලින්
  4. එහෙමත් නැත්නම් ඔයාට ඔහේ එන හිතුවිලි වලින්

ඔයා ඔයාට ගැලපෙන හොඳ අදහසක් හොයා ගත්තට පස්සෙත් ඒ ඉක්මණට ලියන්න පටන් ගන්න යන්න එපා. ඒ වෙනුවට ඔයා ඒ අදහස ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හිත ඇතුලෙන් ප්‍රශ්ණ කරන්න. කොහොමද මම මේක ලියන්න යන්නේ? ඒක ඒ විදිහට නොවී වෙන විදිහකට සිද්ධ වෙන්න පුළුවන්ද? එහෙම සිද්ධ වෙනවනම් මොන මොන විදිහට වෙන්න පුළුවන්ද? ඒකත් ඒ හිතන විදිහටම වෙයිද? ඒක එච්චර අමාරු නෑ. මේ උදාහරණේ බලන්නකෝ.

ඔයාට ඔයාගේ උපන්දිනයට හොඳම යාළුවාගෙන් තැපෑලෙන් තෑග්ගක් ආවා කියලා හිතන්න. දැන් නිකමට හිතන්න මේ උපන්දින තෑග්ග ඔයා අතට ලැබුනේ නැත්නම් එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා හිතනවා නේද මේ තෑග්ග තැපෑලෙන් හොරකම් කරා කියලා. එහෙම නැතනම් ඔයාගේ යාළුවට උපන්දිනය අමතක වෙලා තෑග්ගක් එව්වේ නෑ කියලා. තව තව දේවල් ඔයාට හිතෙන්න පුලුවන්. ඔයාගේ අදහස ගැනත් මෙන්න මේ විදිහට හිතලා බලන්න තමා ඔයාට තියෙන්නේ.

කොහොම උනත් කෙටිකතාවක් ලියන්න නම් ඔයා හොඳ ශක්තිමත් අදහසක් තෝරගෙන තියෙන්නෙ ඕන. ඒ අදහසට හොඳින් අවධානය යොමු කරන්නත් ඕන. ඔයාට අවධානය යොමු කරන්න අදහස් ගොඩක් තියෙනවා නම් ටික වෙලාවක් අරගෙන ඒකෙන් හොඳම අදහස තෝරගන්න.

>> READ THIS ARTICLE SINHALA

3. චරිත නිර් මාණය

කෙටි කතාවක චරිත කියන්නේ හරියට කතාවේ හදවත වගේ. ඒ නිසා ඔයාගේ අදහසට ගැලපෙන්න චරිත තෝරගන්න ඕන හරි පරිස්සමින්. දැන් අපි බලමු කොහොමද පියවරෙන් පියවර මේ තෝරා ගැනීම කරන්නේ කියලා.

i. ප්‍රධාන චරිතය තීරණය කරන්න

මුළින්ම ඔයා කරන්න ඕන දේ තමා ඔයාගේ ප්‍රධාන චරිතය තෝරගෙන එයාට ගැලපෙන නමක් දෙන එක. ඒ දෙද්දි චරිතයට උචිත වයස, ඒ චරිතයේ අරමුණ, ඒ චරිතය හරහා කොහොමද ඔයාගේ ගැටළුව නිර්මාණය කරන්නේ කියලත් හිතන්න ඕන. ඒ වගේම මතක තියාගන්නම ඕන දෙයක් තමා ඔයාගේ කතාව ලියවෙන කාලය. අනුරාධපුරයේ කතාවක් ලියලා ඒකේ ප්‍රධාන චරිතය සිංහල කොල්ලෙක් වෙලා නම ජෝර්ජ් කියලා දැම්මම ගැලපෙන්නෑනේ නේද?

ii. කතාවේ සෙසු චරිත තෝරමු

මේ සෙසු චරිත නිර්මාණය කරන්නේ ප්‍රධාන චරිතය අභිබවා ගිහින් කතාවේ ප්‍රධාන චරිත බර ගානක් තියෙන අච්චාරුවක් හදන්න එහෙම නෙමේ. ඔයාගේ කතාව ගොඩ නගන්න උදව් කරන ප්‍රධාන සාධකයක් තමා මේ සෙසු චරිත. මේ සෙසු චරිතයක ප්‍රධාන රාජකාරිය වෙන්නේ ප්‍රධාන චරිතය තව තවත් ගොඩ නංවන්න උදව් කරන එක. එහෙම නොවුනු කතාවල සිද්ධ වෙන්නෙ ප්‍රධාන අරමුණ මග ඇරිලා කතාව විකෘති වෙන එක.

ඒ වගේම ඔයාලා මතක තියාගන්නම ඕන දෙයක් තමයි ගොඩාක් චරිත කෙටි කතාවකට යොදා ගන්න එක සුදුසු මදි කියන එක. චරිත වැඩි වෙද්දී කියවන අයට පැටලෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. අපේ කතාව කියවන්න මෙච්චර ආදරෙන් එන අපේ පාඨකයන්ව අපි ව්‍යාකූල කරන්නේ මොකටද නේද? ඒ නිසා වඩා සුදුසු කෙටි කතාවකට උපරිම චරිත දෙකක් හෝ තුනක් යොදා ගන්න එක. හැබැයි චරිත ප්‍රමාණය අඩු උනත් ඉන්න චරිත ටික අනිවාර්‍යෙන්ම ඔයාගේ කතාව ගොඩ නගන්න තරම් ශක්තිමත් වෙන්න නම් ඕනමයි.

4.කතාවේ මනෝභාවය තීරණය කිරීම

කතාව මනෝභාවය කියන්නේ මොකද්ද? කලබල වෙන්න එපා. මේකෙදි ඔයා මුළින්ම කරන්න ඕන ඔයා මොන ආරෙටද මේ කතාව ලියාගෙන යන්න හිතන් ඉන්නේ කියලා තීරණය කරන එක. ඒ කියන්නේ ඔයා කතාව ලියන්නේ සතුටින් කියවෙන කතාවක් විදිහටද? දුකෙන් කියවෙන කතාවක් විදිහටද? ගුප්ත රසයක් මැවෙන විදිහටද? බය හිතෙන විදිහටද?

බලාපොරොත්තු සහගත ස්වරයෙන්ද? ආදරබර ස්වරයෙන්ද? උද්‍යෝගිමත් ස්වරයෙන්ද? ආශ්වාදජනක විදිහකටද? එහෙමත් නැත්නම් ඉතාමත් සංසුන් විදිහකටද? මේ ප්‍රශ්ණෙට ඔයා දෙන උත්තරය මත තමයි මේ කතාව ඉදිරියට ගලන්නේ කොහොමද කියලා තීරණය වෙන්නේ. ඔයා මොකක් තෝරගත්තත් ඔයා දැනගන්නම ඕන දේ තමා කතාවේ Mood එක නැත්නම් මනෝභාවය තමායි ඔයාගේ කතාවේ චිත්තවේගීය වාතාවරණය වෙන්නේ. ඒ මොකද්ද ඒ? . ඒ කියන්නේ Emotional Atmosphere කියන එකට. මතක තියා ගන්න කෙටි කතාවකට එක මනෝභාවයක් තෝරගත්තම හොඳටම ඇති.

>> READ THIS ARTICLE SINHALA

5.පසුතල තෝරා ගැනීම

ඔයාගේ කතාවේ හැඩය පවත්වාගන්න ඕන කරන වැදගත්ම සාධකයක් තමයි පසුතල හෙවත් Settings කියලා කියන්නේ. මේ පසුතල සැකසුම් ඔයාගේ කතාවේ මනෝභාවයට ලොකු බලපෑමක් කරනවා. ඊට අමතරව ඔයාගේ චරිත වල හැසිරීමට සහ කතාවේ ගැටළුවටත් බලපානවා. සාමාන්‍යයෙන් මේ පසුතල වලට සිදුවීම් සිදුවන ස්ථානය, වේලාව සහ පරිසරය ඇතුළත් වෙනවා. මේ සාධක පාඨකයන්ට ඔයාගේ කතාව ඇතුළත ලෝකය මවා ගන්නත්, ඒ චරිත ඒ පරිසරය අනුව හැසිරෙන්නේ කොහොමද කියලා හිතා ගන්නත්, බොහොම උපකාරී වෙනවා.

කොටින්ම කොව්වොත් ඔයාගේ කතාවේ මනෝභාවයට බොහොම ලඟින් යන දෙයක් තමා මේ පසුතල කියලා කියන්නේ. ඒ නිසා ඔයාගේ කතාවේ පසුතල තීරණය කරද්දී ඔයා බොහොම පරිස්සම් වෙන්න ඕන. අපි දැන් බලමු කොහොමද මේ පසුතල තීරණය කරන්නේ කියලා.

i. ස්ථාන

මේ තමා ඔයාගේ කතාව සිද්ධ වෙන තැන. ඒක විදෙස් රටක, ගමක, පාසලක, රෝහලක, බස් නැවතුම් පලක, කුඩා කාමරේක, ඇයි පාරෙදි උනත් වෙන්න පුළුවන්. ඔයාට තැනක් කියලා අඳුන්වන්න පුලුවන් ඕනම ස්ථානයක් මේ සඳහා තෝරගන්න නිදහස ඔයාට තියෙනවා. හැබැයි මතකයිනේ මේ ස්ථානය ඔයාගෙ කතාවේ මනෝභාවයට ගැලපෙන්න ඕන. අපි බලමුද එහෙනම් උදාහරණ ටිකක්.

මනෝභාවය                    ගැලපෙන ස්ථානය
භීෂණ (Horror)                           අතහැර දැමූ නිවසක්, අඳුරු වනයක්, වනාන්තරයක පාරක්
ආදරබර                       ඉර බහින හැන්දෑව, ගමේ වැව් තාවුල්ල,
අභිරහස්                         දුම් රිය ස්ථානය, වැහි දවසක නගරයක රාත්‍රිය
ත්‍රාසජනක                    වනාන්තරය, කඳු පන්තියක්, කාන්තාරය

ii. කාලය

මේ පසුතලයේදී ඔයා තීරණය කරන්න ඕන ඔයාගේ කතාව ඇත්තටම සිද්ධ වෙන්නේ මොන කාලයෙද කියලා. ඔයාගේ චරිත මොන යුගයටද අයිති වෙන්නේ කියලා. මෙන්න මේ වගේ.

  • අතීතය – රජකාලේ, 1990 ගනන් වල, ලෝක යුද්ධ කාලේ, යටත් විජිත කාලේ
  • වර්තමානය – නවීන ලෝකේ, සමාජ මාධ්‍ය යුගය, කෘතිම බුද්ධිය වැඩි දියුණු වෙන යුගය 
  • අනාගතය- විද්‍යා ප්‍රබන්ධ, අභ්‍යවකාශ චාරිකා
  • එක දවසක් තුල – මධ්‍යම රාත්‍රියේ, උදේ, හැන්දෑවේ, මහදවාලේ
ඔයා තීරණය මේ කාලය පහත දේවල් වලට බලපානවා
  • ඔබේ චරිත එදිනෙදා ජීවිතයේ භාවිතා කරන තාක්ෂණය විස්තර කරන්න
  • චරිත කතා කරන භාෂාව තීරණය කරන්න.
  • චරිත අඳින ඇඳුම් විස්තර කරන්න.
  • චරිත අනුගමනය කරන්න ඕන සමාජ නීති විස්තර කරන්න

iii. පරිසරය

මේ පසුතලයේදී අපි කතා අවධානය යොමු කරන්නේ ඔයාගේ කතාවට අදාල වෙන කාළගුණය, සංස්කෘතිය, සමාජ වාතාවරණය, සහ ඒ මොහොතේ වාතාවරණය ගැන. උදාහරණයක් විදිහට නිහඬ ගැමි පරිසරයක ආදර කතාවක් අවිවේකී නගරයක ආදර කතාවකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.

එහෙම උනත් ඔයාලා මතක තියා ගන්න ඕන දෙයක් තමා සමහර වෙලාවට හොඳම කතා නිර්මාණය වෙන්නේ වෙනස් අමාරු පරිසර තත්ව වල චරිත ස්ථාන ගත කරාම කියලා. උදාහරණයක් විදිහට කවදත් දුප්පත් පරිසරයකට ගිහින් නැති ධනවතෙක් මුඩුක්කුවක අතරමං උනාම ලස්සන කතාවක් ගොතන්න පුළුවන් ඒ මනුස්සයම තමාගේ ධනවත් ගෙදර කාමරේ හිරවෙන එකට වඩා. කොහොම උනත් ඔයාගේ අදහස තමා කතාව ගොඩ නගන්නේ. ඒ නිසා අදහසට අනුව පරිසරය ගැලපෙන්න තෝරගන්න එක ඔයාගේ වගකීමක්.

මනෝභාවය එක්ක ගැලපෙන්නේ ස්ථානය විතරක් නෙමේ පරිසරය හා වෙලාවත් හරි ලස්සනට ඒ එක්ක ගලපන්න පුළුවන්. උදාහරණයක් විදිහට දුක්බර කතාවකට ගැලපෙන වෙලාවක් තමයි වැහි දවසක හැන්දෑව.

කෙටි කතාවක් කියන්නේ කෙටි කතාවක් නිසාත් මේක ඔයාගේ පළවෙනි කෙටි කතාව නිසාත් ඔයා ගොඩාක් ස්ථාන භාවිතයෙන් වැළකිලා කාල රාමුව අඩු කරන එක ගොඩක් හොඳ අදහසක්. නවකයෙක් විදිහට මම ඔයාට කරන්න යෝජනා කරන්නේ නම් එක ප්‍රධාන ස්ථානයක් තෝරගෙන ඒකට ගැලපෙන කාල රාමුවක් වටේ කතාව ගොඩ නගන්න කියන එක.

6.කතාව සැලසුම් කිරීම

මේ වෙද්දි ඔයාට ඔයාගේ කතාව ගැන, කතාවේ චරිත, පරිසරය, පසුතල හා මනෝභාවය ගැන මූලික අදහසක් තියෙනවා. දැන් ඔයා කතාව ලියන්න සූදානම්. ඒත් කතාව ලියන්න කළින් කරන්න තියෙන හොඳම දේ තමයි කතාව සැලසුම් කරලා සරල සැකිල්ලක් හදා ගන්න එක. කතාව සැලසුම් කරන එකෙන් ඔයාට කතාව ලියාගෙන යන්න ලොකු පහසුවක් දැනෙනවා වගේම කතාව හොඳින් සංවිධානයත් වෙනවා. මේකට තියෙන හොඳම ක්‍රමය තමයි ඔයාගේ කතාව ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කර ගන්න එක.

ආරම්භය, මධ්‍ය කොටස හා අවසානය විදිහට. ආරම්භ කොටසෙදී ඔයා කතාවේ චරිත හා පසුතල අඳුන්නලා දෙන්න ඕන. මැද කොටසෙදි තමා ඔයා කතාවේ ගැටළුව හෝ ප්‍රශ්ණය ගොඩ නගන්නේ. අවසාන කොටසේදී ඔයා ඒ ගැටලුව විසඳන්න ඕන.

i. ආරම්භය

මේ කොටසෙදි තමා ඔයාගේ කතාවේ පසුතල ප්‍රධාන චරිත විස්තර කෙරෙන්නේ. මේකෙදි මේ කතාවේ ප්‍රධාන ගැටළුව පෙන්නන්නත් ඕන. එතකොට තමා ඔයාගේ පාඨකයෝ දැන ගන්නේ මේ කියවන කතාව මොකක් ගැනද කියන්නේ කියලා. ආරම්භය තමා ඔයාගේ කතාවේ හඳුනා ගැනීම.

ii. මැද කොටස

මේ කොටසේ කාර්‍යය තමා ඔයාගේ කතාවේ ගැටුම නිර්මාණය කරලා ඒකට චරිත පටලලා කතාව ගොඩ නගන එක. ඔවුන් ඒ ගැටුම එක්ක ජීවත් කරවන එක. එයාලා ඒකෙන් ගොඩ එන්න උත්සහ ගන්නන එක.

iii. අවසානය

අවසානයේදී කෙරෙන්න ඕන දේ තමා කතාවේ ගැටළු වලට විසඳුම් දීම හා පාඩමක් ලෝකයට කියා දෙන එක. මේ සඳහා පුදුම හිතෙන අවසානයක් හැඟීම්බර අවසානයක් දෙන්න ඔයාට පුළුවන්.

>> READ THIS ARTICLE SINHALA

7.පළමු කෙටුම්පත ලිවීම

ඔයා හා හා පුරා කියලා කෙටිකතාව ලියන්න ගනිද්දි කරුණාකරලා ව්‍යාකරණ ගැන වද වෙන්න යන්නම එපා. ඔයා තාම නවකයෙක්නේ. කාළය ඔයාගේ වැරදි නිවැරදි කරලා ගනී. ඒ නිසා නිදහසේ ලියන්න පටන් ගන්න. උත්සහ ගන්න පළවෙනි කෙටුම්පත කොහොම හරි ඉවර කර ගන්න. ඔයා කතාව ලියන එක අතෑරලා ව්‍යාකරණ ගැන වද වෙන්න ගියොත් මොකද දනන්වද වෙන්නේ? ඔයාට වෙන්නේ මුළු දවසම කෙටුම්පත ලිය ලියා ඉන්න. ඒ වෙනුවට පොඩි එලාම් එකක් අරගෙන පැය දෙක තුනකට වෙලාව හදලා දිගටම ලියාගෙන යන්න. මේ වෙලාවෙදි ඔයාගේ අරමුණ වෙන්න ඕන මම කොහොම හරි කතාව ඉවර කර ගන්නවා කියන එක විතරයි.

8.හැඟීම් ඇතුළත් කිරීම

හොඳ කතාවක් එයාලගේ පාඨකයන්ට හැඟීම් දැනෙන්න ඉඩ අරිනවා. ඒ කොහොමද ඒ? ඒක කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ ඔයාට කතාවක හැඟීම් පෙන්නන්න ක්‍රම කීපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට ක්‍රියාවන් හරහා, වචන හරහා, සිතුවිලි හරහා ඔයාට හැඟීම් පෙන්වන්න පුළුවන්. ඔයාට පුළුවන් ස්ථාන, අවස්ථා හා එම අවස්ථා වලදි චරිතයකට හැඟෙන ආකාරය පැහැදිලි කරන්න සරල විස්තරයක් භාවිතා කරලා ඒ හරහා හැඟීම් ප්‍රකාශ කරන්න පටන් ගන්න. කොහොම උනත් ඕනවට වඩා වද වෙන්න එපා ඔයාට ඒක හරියට ලියන්න පුලුවන්ද බැරිද කියලා. ඔයා සරල විදිහට පටන් ගන්න. සරල ආරම්භය තමා හොඳම දේ. දෙබස් යොදා ගැනීම මගින් ඔයාට පුළුවන් ඔයාගේ කෙටිකතාවේ චරිත හා වට පිටාව වඩාත් ස්වාභාවික තත්වයට පත් කරන්න. අපි උදාහරනයක් බලමු.

“ඔයා ගනන් ගත්තේ නැති උනත් මම මට පුළුවන් උපරිමේටම උත්සහ කලා” ඇස් දෙකේ කඳුළු පුරවාගෙන ඇය මෘදුව කීවාය.

මේ වගේ දෙබස් හරහා ඔයාට පුළුවන් පාඨකයන් ඔයාගේ කතාවට බැඳල තියා ගන්න.

9.සංස්කරණය කිරීම

හෝව් හෝව් ඔයාගේ පළවෙනි කෙටුම්පත හදලා ඉවර නිසා දැන් හිතාගෙන ඇත්තේ වැඩේ ඉවරයි කියලා වෙන්න ඇති නේද? තව පොඩ්ඩක් ඉන්න. තාම වැඩේ ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. ඔයා දැන් පොඩි විවේකයක් ගන්න. හිත වෙන වැඩක යොදවලා පැය භාගෙකට පස්සේ ආපහු ඇවිත් පරිස්සමින් කතාව මුළ ඉඳලා අගට ආපහු කියවන්න. මෙන්න මේ වෙලාව ගොඩාක් වැදගත්. ඔයා මේ වෙලාවේ කතාව කියවන්න ඕන ඔයා මේ කතාව ලිව්වේ නෑ. ලිව්වේ වෙන කෙනෙක්. මම මේ කතාව කියවන කෙනෙක් විතයි කියලා හිතාගෙන.

දැන් ඔයා මේකේ වැඩිපුර ලියලා තියෙන කතාවේ අදහසට ගැලපෙන්නේ නැති වාක්‍ය වචන වගේ දේවල් ඔක්කොම අයින් කරලා දාන්න ඕන. ඒ විතරක් මදි දුර්වලයි කියලා හිතෙන කොටස් තියෙනවා නම් ඒවා හරි ගස්සලා ඕනවට වඩා වැඩියි කියලා හිතෙන කොටස් එක්කො අඩු කරන්න ඕන නැත්තන් අයින් කරන්න ඕන. ඒ කරලා ඔයාගේ මතයට අනුව තුලනය කරලා ගන්න ඕන. මේ විදිහට සංස්කරණය කරද්දී ඔයාගේ කතාව මුළ ඉඳලා අගට හොඳින් ගලාගෙන යනවද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන.

ඒ ඔක්කොමත් ඉවර උනහම ඔන්න දැන් ඔයාට පුළුවන් ඔයා හා හා පුරා ලියපු කතාවේ ව්‍යාකරණ දෝෂ, අක්ෂර වින්‍යාසයේ වැරදි වගේ දේවල් තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න. කොහොම උනත් මතක තියා ගන්න සංස්කරණය කිරීම මගින් ඔයාගේ කතාව පැහැදිලි එකක් වෙනවා වගේම වෘත්තිමය භාවයක් පෙන්නන්න ගන්නවා.

10.මාතෘකාවක් (නමක්) ලබා දීම

කතාව ලිව්වා සංස්කරණයත් කරා ඔක්කොම හරි. එහෙම නේද හිතුවේ? ඒත් කෝ ඔයාගේ කතාවට නමක්. අපි බබාට නමක් තියෙනවා වගේ ඔයාගේ කතාවටත් නමක් තියන්නම ඕන. කතාවේ නම නැත්නම් මාතෘකාව කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි කියවන අයට කතාවේ මුළින්ම පේන්නේ කතාවේ නම. ඒ නිසා ඔයාගේ කතාවට කෙටි රසවත් නමක් දෙන්න. මොකක් උනත් ඔයා දෙන නම කෙටි සහ අරුත්බර වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයා තෝරන නම ඔයාගේ කතාවේ තේමාවට ගැලපෙන්න ඕන.

මේ තියෙන්නේ උදාහරණ කීපයක්:

  • හමාර බණවර
  • අවසන් පොරොන්දුව
  • දම්පාට හැන්දෑව

හොඳ නමකට පුළුවන් කියවන කෙනාගේ හිත එක පාරින්ම බැඳලා තියාගන්න. ඒ කියන්නේ නමක් කියන්නේ රත්තරන් අව්ස්ථාවක්.

11.සමාලෝචනය කිරීම

දැන් ඔයාගේ කතාව ලියලා ඉවරයි. ඒ විතරක් නෙමේ සංස්කරණය කරලා ඒකට ගැලපෙන නමකුත් දීලා ඉවරයි. ඒත් ඔයා නවත්තන්න කළින් මම කියනවා ආපහු සැරයක් කියවලා බලන්න. ඔයාගේ අදහස ඒකේ තියෙනවද කියලා බලන්න. ඒ වගේම ඒක ඔයාගේ රුචියට ගැලපෙනවද කියලා බලන්න.

මොකද ඒකට බැරිනම් ඔයාට සෑහීමකට පත් කරන්න කොහොමද තව කෙනෙක් සෑහීමකට පත් කරන්නේ. එහෙම කියලා ඔයා දැන් ලියන එක නතර කරන්න හිතන්න එපා. මේක ඔයාගේ පළවෙනි කෙටි කතාවනේ. ඔයාට මේක කාළයත් එක්ක ගොඩ දා ගන්න පුළුවන්. ඒකට කාටත් කළින් ඔයා ඔයාගේ හොඳම විචාරකයා වෙන්න. විචාරය කරන්න සංස්කරණය කරන්න.

ඔයාටම ඔයාගේ විචාරකයා වෙන්න අමාරුනම් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙකුට පිටපත දීලා එයාගේ ප්‍රතිචාරය ලබා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ කතාව සමාජ මාධ්‍යක හරි ඔයාගෙම වෙබ් සයිට් එකක බ්ලොග් එකක හරි පල කරන්න. මෙහෙම පල කරන එකෙන් ඔයාට ආත්ම විශ්වාසයක් ලැබෙනවා වගේම ඔයාගේ දක්ෂතා දියුණු වෙනවා. ඒත් මතක තියාගන්න කතාවක් ලියලා විචාරය කරලා දිගටම කරගෙන යනවා කියන්නේ ඔයාට හොඳ අවස්ථාවක්.

12.සාර්ථකත්වය සඳහා උපදෙස්

  • ලිවීමට පෙර සූදානම් වන්න
  • ලිවීමට පෙර සූදානම් වන්න
  • එක් සරල අදහසක් තෝරන්න
  • චරිත ගණන සීමා කරන්න
  • කතාව සැලසුම් කිරීමේදී අප සාකච්ඡා කළ සරල ව්‍යුහය අනුගමනය කරන්න
  • ගැටුමක් පෙන්වන්න
  • වචන ඕනෑවට වඩා ලියන්න එපා. එය වචන 500 – 1500 දක්වා කෙටි කරන්න
  • ප්‍රබල ආරම්භක පේළියක් ලියන්න, ඉන් පාඨකයින් කුතුහලයට පත් කළ හැකිය
  • සරල භාෂාවක් භාවිතා කරන්න
  • එක් කතාවකින් පසු නතර නොවන්න. නිතිපතා ලියන්න
  • සෑම විටම ඔබේ කතාව අවසන් කරන්න. එය නිම නොකර තබන්න එපා
  • ඔබට සොයා ගත හැකි තරම් විශිෂ්ට කෙටිකතා කියවන්න

13.ආධුනිකයන් කරනා පොදු වැරදි

i. එකපාරම ලොකු කතාවක් ලියන්න ඕන

ඔයාලා විශ්වාස කරනවද මමත් නවකයෙක් කාළේ මගේ කතා ඇතුළට ගොඩක් අදහස් ඔබන්න උත්සහ කරා. ගොඩාක් චරිත විතරක් නෙමේ අවස්ථා ගොඩකුත් ඇතුල් කරා. ඒ විතරක් නම් මොකද මම උත්සාහ කළා හැම දර්ශනයකටම වගේ හොඳ ලස්සන ස්ථානත් ඇතුළත් ක‍රන්න. හොඳම දේ කියන්නේ ගැටුමුත් එකකට වඩා වැඩියෙන් නිර්මාණය කරන්න. ඒක තමා වෘත්තීමය භාවය කියලා මම හිතුවා. ඒත් ඒ ඔක්කොම අපරාදේ. ඒකෙන් උනේ මගේ කතාව සම්පූර්ණයෙන් අවුල් ගිය එක. ඒ නිසා මම නිර්දේශ කරන්නේ එක් අදහසක් හරි එක වැදගත් සිදුවීමකට අවධානය යොමු වෙන්න කියලා.

ii. චරිත ගොඩයි.

මගේ අත්දැකීම් අනුව, මම කෙටිකතා ලියන්න පටන් ගත්තම, මගේ කෙටිකතාවට චරිත ඕනවටත් වඩා එකතු කරා. මට ඕන වුණේ අඩුම මිතුරන් 10 දෙනෙක් වත් ඉන්න කතාවක් ලියන්න. කොහොම හරි ඒකෙන් උනේ කතාවේ මැද්දට යන්න යන්න ව්‍යාකූල උන එක. දෙබස් පැටලුනා. දෙබස් කියන අය පැටලුනා. ඒ නිසා මම නිර්දේශ කරන්නේ ප්‍රධාන චරිතයක් සහ සහාය චරිත 1–2ක් අතර භාවිතා කරන්න කියලා.

iii. කම්මැලි ආරම්භය

මේකත් නවකයෝ කරන ඒත් ලොකු අවධානයක් දීලා නිවැරදි කරගන්න ඕන වැරැද්දක්. ගොඩක් කෙටිකතා ආරම්භ වෙන්නේ ගොඩාක් සාමාන්‍ය වාක්‍ය වලින්. එකෝමත් එක කාළෙක කියලා පටන් ගන්න එක එක උදාහරණයක්. ඒක දැන් නම් ගොඩක් පරණයි වගේ. ඒත් ඔයාට ඒක සුරංගනා කතා ලියන කොට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රවේෂයක්. ඉතින් අළුතෙන් හිතන්න. ඊට පස්සේ ගොඩාක් හිත් ගන්නා සුළු විදිහට ආරම්භ කරන්න. මතක තියාගන්න හොඳ ආරම්භයකට පුළුවන් ඔයාට පාඨකයෝ වැඩි කරන්න.

iv. කිසිම ගැටලුවක් නොමැති වීම.

මතක තියාගන්න, කතාවක හරි හමන් ගැටුමක් නැත්නම් එක හරිම කම්මැලියි. ගොඩාක් නවකයෝ ලියන්නේ ඒකාකාරි කතා. මුළින්ම ප්‍රධාන චරිතයක් තෝරා ගන්නවා. පස්සේ එයාව කොහේ හරි යනවා, කෙනෙක් එක්ක කතා කරනවා, එනවා කියලා ලියනවා. කතාව සම්පූර්ණයි. ඔයා කෙටි කතාවක් ලියන්න යනවා නේද? එහෙනම් එක දෙයක් කරන්න. ඔයා ඔයාගේ අදහස හොයාගත්තම, කතාවට පැහැදිලි ගැටුමක් හදන්න. අභිරහසක්, අනතුරක්, දුෂ්කර තීරණයක් වගේ.

v. කතාව එක පාරටම අවසන් කිරීම

මේකත් නවකයන් කරන ලොකු වරදක්. එයාලා එකපාරටම පැහැදිලි කිරීමක් නැතුව කතාව නවතත්තනවා. ඔයාලා මතක තියා ගන්න ඕන පාඨකයා අතෘප්තිමත් නම් ඒක ඔයාගේ රසික පිරිසට බලපානවා. ඒ නිසා ඔයාගේ කතාවට පැහැදිලි සහ අර්ථවත් අවසානයක් ලබා දෙන්න උත්සහ කරන්න ඕන.

14.නිතර ඇසෙන ප්‍රශ්ණ

Q1. මගේ කතාවේදී අමාරු වචන භාවිතා කරන්න ඕනද?

හොඳ ලිවීමකදී සංකීර්ණ වචන මාලාවක් භාවිතා කරන්න ඕන කියලා සමහර නවකයන් හිතනවා. එයාලා ඒක වෘත්තීය භාවයේ ගුණාංගයක් ලෙස සලකනවා. එත් ඔ‍යා දැන ගන්න ඕන දේ තමා හොඳ ගුණාත්මක කෙටි කතාවක් කියන්නේ කතාවේ පැහැදිලි බව සහ හැඟීම් ප්‍රකාශය කිරීම මිස ඉතා අපහසු වචන භාවිතා කරන එක නෙමේ. ඒ නිසා මගේ නිර්දේශය තමයි සරල පැහැදිලි භාෂාවක් භාවිතා කරන්න කියන එක.

Q2. හැම කෙටිකතාවකටම ගැටුමක් ඕනමද?

ඔව්. ගැටුමක් නැති කෙටිකතාවක ඇති දෙයක් නෑ. ඒ නිසා අනිවාර්‍යෙන්ම ගැටුමක් ඔබේ කතාවට ඇතුල් කරන්න. ඒක ඔයාට නිදහසේ හිතලා බලන්න පුළුවන් ඔයා භාවිතා කරන්න යන ගැටුම මොකද්ද කියලා. ඒත් මට පුළුවන් ඔයාට උදාහරණ දෙන්න. මොකක් හරි රහසක් එළි උනාම කරන දෙයක්, එක අමාරු තීරණයක් ගන්න වෙන සිදු වීමක් වගේ ඒවා. කොහොම උනත් මතක තියාගනන් ඕන දේ තමා ගැටුම් වලට පුළුවන් කතාව රසවත් කරන්න.

Q3. මම කොච්චර කාළෙකට සැරයක් ලියන්න ඕනද?

දවස ගානෙම ලියනන් ඕන. නවකයෙකුට කරන්න පුළුවන් සුදුසුම දේ වෙන්නේ සතියකට වතාවක් වත් කෙටිකතාවක් ලියන්න දෙවතාවක්වත් කෙටිකතා කියවන්න. දිනපතා ලිවීමෙන් දක්ෂතා ඔප් නංව ගන්න පුලුවන්.

Q4. මම කොහෙද මගේ පොත් ප්‍රසිද්ධ කරන්නේ?

නවකයෙක් විදිහට ඔයාගේ කතාව ඔයාගෙම වෙබ් අඩවියක පල කරන්න පුළුවන්, එහෙම නැත්නම් ලිවීම සඳහා වෙන් කරලා තියෙන wattpad හා webnovel වගේ ආයතන වල publish කරන්නත් පුළුවන්. Online magazines වගේ ඒවයේ ඔයාගේ කතාව පල කරන්න පුළුවන් වීම තවත් ක්‍රමයක්. එහෙමත් නැත්නම් සමහර ලේඛකයන් කරනවා වගේ eBooks හදලා පල කරන්නත් පුළුවන්. මේ ඕන එකක් ඔයාට උත්සහ කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණ පල කිරීමත් ප්‍රසිද්ධයි. විශේෂයෙන් facebook. වගේ සමාජ මාධ්‍ය වලට ඇති ඉල්ලුම වැඩියි.

>> READ THIS ARTICLE SINHALA

15.නිගමනය

අවසානයේදී මට ඔයාලට කියන්න තියෙන්නේ කෙටිකතාවක් ලියන එක ඇත්තටම අමාරු නෑ. ඒත් ඒකට නිසි සැලසුම් කිරීමක් සහ කැපවීමක් තියෙන්න ඕන. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ කෙටිකතාව දවසක් ඇතුළත ලියලා ඉවර කරන්න. මේ වෙද්දී ඒක කරන්නේ කොහොමද කියන්න ඔයා හොඳට දන්නවා. මුළින්ම සරල අදහසක් තෝරාගෙන ඒකට ගැලපෙන ශක්තිමත් චරිත නිර්මාණය කරලා, මූලික ව්‍යුහයක් අනුගමනය කරලා කතාව ලිව්වට පස්සේ ප්‍රවේශමෙන් සංස්කරණය කිරීමෙන්, ඕනම කෙනෙකුට කෙටිකතා රචකයෙක් වෙන්න පුලුවන්. ඒත් මේ දේ කරන්න නම් මුලින්ම ඔයා ඔයාව විශ්වාස කරන්න ඕන. ඊට පස්සේ දවස ගානේ පුහුණු වෙන්න ඕන. මොනම වෙලාවකවත් අත් නොහැර ඉන්න ඕන. මතක තියා ගනන් සෑම ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්ම මුළින් නවකයෙක් කියන එක. ඒ නිසා කිසිම වෙලාවක අත් අරින්න එපා ඒ වගේම ඔයාලා ලියන කෙටි කතාව මටත් එවන්න. දිගටම කතා ලියන්න. “සුභ පැතුම්”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *